වලාකුලක් මෙන් ඇතට පාවුණ...

"මොකෝ බං උඹලට වෙලා තියෙන්නේ... ආ...?

ප්‍රශ්ණයක් තියනවානම් කථාකරලා විසඳා ගනින්කෝ...!
ඇයි සද්ද නැතුව ඉන්නේ...?

එහෙම හිටියම අනික් මනුස්සයා මොනවද හිතාගන්නේ... උඹලා බබ්බුද...??

කොන්ද පණ ඇතිව ඔතනින් ඉස්සරහට යන්න බැරි කාරණය මොකද කියලා කියන්න බැරි මොකෝ...??

එක අතකට උඹලා ඔය නපුංසක වත දිගටම ‍රැකපල්ලා..!
ඒක හොඳයි...!! ජීවිතේ ඉස්සරහට හැබෑ ප්‍රස්න එනකොට ඒවාට මූණ දෙන්න බැරිව ලැජ්ජාවට පත්වෙනවට වඩා ඒක හොඳයි...

හැබැයි හිතන්න එපා පු‍තෝ හැම දේම සරල රේඛාවක යන්නේ කියලා... ඉස්සරහා දොරෙන් දොට්ට දැම්මා කියලා හිතාගත්තට, කාලයක් ගත වෙලා උඹලට පස්ස දොරෙන් ගිහිල්ල හිඟන්න වෙන්නෙත් ඕකමයි.... උන්ට හිතේ තියන හයියෙන් අංසුවක් වත් උඹලට නෑ...!!

උන් සේරම දරාගෙන ඔය ලෝකෙට හිනාමූණ පෙන්නනගෙන ඉන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා උඹලා දන්නවද...?

හරි... උඹලා උඹලගේ කොටු කරගත්තු ලෝකේ පහසුවෙන් හිටපල්ලා...
තනතුරු, නමේ අගට එන කෑළි, අයිශ්වර්‍යා, ඕවයින් තාවකාලික ආතල් එකක් අරන් හිටපල්ලා...
හැබැයි උන් කවදා හරි උඹලට වඩා ජීවිතයේ හැබෑ සැනසිල්ල අත්විඳිනවා...
මට හොඳටම ෂුවර්...!!!

උඹලම අද පාටියේ බිල ගෙවපල්ලා... මං යනවා යන්න...."


වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ....
පිහා‍ටුවක් ලෙස ගිලිහී විසිරුණ පියඹන කවුඩකුගේ...
නැගී බිඳුණ රළ වරළස වාගේ බොරවී ගලන ග‍ඟේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

කැලෑ මලක් ලෙස දෙපයට පැගුණ ගොරහැඩි මිනිසකුගේ....
කුණා‍ටුවක් මෙන් වියරුව විසිරී පැන ගිය වනය දිගේ....
හිඟා කකා ඔබ ගෙමිදුල වෙත ආ යාචක ලඳක වගේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

රන් මිණි දද බැඳි සුවිසල් මැදුරුද පොළවට සමවන්නේ...
ගුම් හඬ දීගෙන දිව යන දිය ‍රැළි වැලි මත වියැලෙන්නේ...
සිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අපි ඉන්නේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...


ටී ජී ඩබ්ලිව් ද සිල්වාගේ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" නවකථාව ඇසුරෙන් 1966 දී නිපදවූ චිත්‍රපටයට, කරුණාරත්න අබේසේකරයන් රචනාකොට, රොක්සාමි මාස්ටර් යෙදූ සංගීතයට, ජී එස් බී රාණීයන් ගායනා කල ගීයක්....

16 ප්‍රතිචාර:

Praසන්ன said...

සිංදුවයි රූපෙයි දෙකම ලස්සනයි.

මාරයාගේ හෝරාව said...

ලෝකය අපි වටෙම කැරකෙනවා වගේ හිතුනාම ඔහොම වෙනවා අයියේ..
ඒත් ඒක එහෙමම නැහැනේ...
සමහර විට ඒක වෙන කවුරු හරි මතක් කරලා දෙන්න ඔන..
හැබැයි ඒක ටිකක් අප්‍රසන්න කාරියක්..
කවුද කැමති හෝදන්න ගිහින් ගාගන්න..
ඒත් ඉඳලා හිටලා හරි මිනිස්සු ඉන්නවා..තමන්ට වෙන හානිය දැන දැනත් ඒකට අත ගහන...
හැබැයි ලෝකයා එහෙම උන්ට කියන්නේ මොඩයායි කියලා...
ඒත් ඒ මෝඩකම ඇත්තටම නරකද..?

ගල්මල්-Coral said...

පින්තූරය නම් උපරිමයි. පූර්විකාව බඹරයක් වගේ නොවැ.

යෝගී... said...

අති විශිෂ්ඨයි සර් !...

Pasan said...

හලේ.... එක පාර සිංදු දෙක තුනක්ම ඇහැව්වා.... මේ සිංදුව නන් සුපිරි ඇ......:-D

sansarasidu said...

මං ගීතය රසවිඳිත්දි අයියා මගේ අඩවියෙත් කරක් ගහල නෙව..
ගල් මල් අයිය කිව්වත් වගේ පූර්විකාව නම් බඹරයක්ම තමා...

අයිය මේ වගේ ගීත කොහෙන් හොයා ගන්නවද මන්දා...
හැමදාමත් කියන කතාවම තමා අදත් කියන්න තියෙන්නෙ...
අදත් අර පළමුවර එකක්!

ඇත්තම කිව්වොත් මේ වගේ ගීයක් අහන්න ලැබෙන්නෙත් හද ගී පොතෙන් විතරයි නෙව..
ඔබට ජය !

පිස්සා පලාමල්ල said...

ගීතය නම් උපරිමයි. අර කිව්වත් වගේ උබ කොහෙන් මෙව්ව හොයා ගන්නවද මන්ද බන් අයියේ

kumari said...

කවදාවත් අහලා නැති ලස්සන ගීතයක්. 'අමතක කරලනු මැනවි ප්‍රියේ 'කියන කොටස ගායනා කරන විට හරිම සංවේදී බවක් දැනෙනවා. මේ ගීතය අහන විට දැනුනු පාළු වේදනාබර බවම මගේ තාත්තා ලියපු මේ කවිය කියවන විටත් මට දැනුනා....
"දෑස මංමුලා වැල් මතින් යන ඇදිරියේ
වයස මට පරිස්සම් කල ඉතිරි අඩ පැයේ
තුරල් වෙන්නට මඳක් තෙහෙට්ටුව සිත කයේ
මතක් කර දියන් මළ ආදරය සොඳුරියේ ...."

දුමී said...

තිසා, මම මට දැනුන දේ අවංකව කියන්නම්.

මම හිතන්නෙ මම කලින් කියල තියෙන විදිහකට ගීතයක මට ඉස්සෙල්ලාම දැනෙන්නෙ ගී තනුව. දෙවනුව ගායනය සහ තෙවනුව පද වැල.

ඇත්තම කිව්වොත් මේ ගීතයේ මම පළමු සහ දෙවන අංග දෙකම රස වින්දේ නෑ. මෙ ගීතයේ පද වැලේ තියෙන සුන්දර බවට තනුවෙන් කිසිම දායකත්වයක් ලැබිලා නෑ.

මම හිතන්නෙ තනුවෙන් පද වැලට ලොකු හානියක් වෙලා කියලයි.

ඒ වගේම ගායනය ගොඩක් දුර්වලයි. අපේ ගීත ලොව මුල් කාලයේ වර්ණවත් කල ජී.එස්.බී රාණි ගායිකාව, මට හිතෙන්නෙ ඉතාමත් අපහසුවෙන් තමයි මේ ගීතයේ ස්වර ස්පර්ෂ කරන්නෙ.

මම මේ ගීතය ඇසුවෙ අදමයි. සමහර විට මේ ගීතයේ මුල් පටිගත කිරීම මේක නොවෙන්න පුළුවන්. අර කපුගේ අවසාන කාලයේ කරපු ගායනා වලින් එතුමාගේ අමරණීය ගීත වලට ලොකු කැලලක් උනා වගේ, මෑත කාලයේ කරපු පටිගත කිරීමෙන් මේ ගීතයටත් ලොකු හානියක් වෙලා ඇති.

මම මහ ලොකු විශාරදයෙක් නෙමෙයි. ගීත රසවිඳින්නෙකු විදිහට කිව්වෙ මට අවංකව දැනිච්ච දේ. එහෙම දැනුනු නිසා බොරුවට ගීතය අගය කිරීමක් කලොත් හරි නෑ කියලා හිතුනා.

මේ ගීතය පිළිබඳ මගේ මේ විවේචනයෙන් උඹ සිත් නොරිදාගනී කියල මම හිතනවා. උඹ මේ කරන සද්කාර්ය්‍ය මම හැමදාමත් අගය කරන්වා. මේ වගේ ගීතයක් තියෙනවා කියලා හරි දැනගත්තෙ උඹ මේවා හොයලා මේ විදිහට අපිට අහන්න සලස්සන නිසානේ.

චමිදේවා said...

පිස්සු හැදෙනවා අයියේ....
අදමයි මේක ඇහැව්වේ...මේක අහන්න දුන්නට ස්තූතියි විතරයි ඉතින් කියන්න වෙන්නේ.... ස්තූතියි අයියේ...

තිස්ස දොඩන්ගොඩ said...

ප්‍රසන්න: ආයිබෝං කිව්වා...

මාරයා: කිසිසේත්ම නෑ... ඒකනේන්නම් මේ කට කැඩෙන කල් කියන්නේ...

ගල්මල්: හතර වටේටම...

යෝගී: :-)

පසන්: සතු‍ටුයි... නිර්මාපකයින්ට පින් දෙමු...

සන්සරසිදු: මේ නිකන් කනට ඇහිලා හිතේ තැන්පත් වෙච්චි එව්වා මලේ...

පිස්සා පලාමල්ල: ආසාවට එකතු කරගත්තු ඒවා මලේ...

කුමාරි: හැබෑටම මාත් ආසාම ඒ කොටසටමයි... ඔබේ පියාගේ තව නිර්මාණ අපි එක්ක බෙදා ගන්න සතු‍ටුද සොයුරිය...?

දුමී: කථාකලා නෙව...!! : -)

Ansh Lucky Sri Jay said...

මෙහෙම සින්දුවක් මං ඇහුවමයි. ඇත්තටම ලස්සනයි..!!

Pali said...

මම අනුමාන කරනවා, මේ කුමාරි මම දන්න කියන කෙනෙක්ය කියලා...මම හරි නම්, ඇගේ පියා අපිට හිටපු අතිදක්ෂ කවියෙක්. අද එතුමන් ජීවතුන් අතර නැහැ. කුමාරි මේ පැත්තෙ ආයෙත් ආවොත් මගෙ අනුමානය හරිද වැරදිද කියලා කියනවා නම් බොහොම ස්තුතිවන්ත වෙනවා.

kumari said...

ඇත්තටම මම පාලිත දන්න අඳුනන කුමාරිම තමයි.හද ගී පොත ගැන මට ඔත්තුව දුන්නෙත් පාලිතමයි.ඒ ගැන නම් පාලිතට බොහෝ තුති.තාත්තගේ නිර්මාණ වලින් ස්වල්පයක් මා සතුව තියෙනවා. එය බෙදා හදා ගන්නට මාත් සතුටුයි.එය කරන පිළිවෙල ගැන සඳහන් කලොත් අගෙයි..........!!

Pali said...

කුමාරිගෙ පියා තමයි, දැනට අවුරුද්දකට හමාරකට විතර උඩදි අපෙන් සමුගත්ත පණ්ඩිත ප්‍රේමදාස නම් කවියා. ඔහු දැක කතාබස් කිරීමට තරම් වාසනාවක් නොතිබුණත්, උම් අල් කුවේන් හි 2008 අවුරුද්දෙ අපි පවත්වපු අවුරුදු උළෙලක සමරු පොතකට අපේ අවුරුද්ද ගැන බොහොම අපූරු කවි පංතියක් එතුමන්ට කියලා ලියව ගත්තා මම. බොහොම නිහතමානීව අපේ ඉල්ලීම ඉ‍ටුකරමින් හරවත් කවි පෙළක්ම ලියා දුන් එතුමන්ට මම නිවන් සුව පතනවා.

කවි බෙදා හදා ගන්නා විදිහක් ගැන තිස්සම කුමාරිට කිව්වනම් හොඳයි.

Anonymous said...

කාලයක් තිස්සෙ හොයපු සින්දුවක්... ස්තූතියි...

Post a Comment

 
Blogger Wordpress Gadgets